..... I am the poem that's  yours but doesn't belong to you ever,...

දවසේ ගීතය

෴ මගේ අත හිත නුඹයි ෴

Thursday, May 31, 2012

෴ආදර පනිට්ටුව෴


෴ආදර පනිට්ටුව෴




පතුලෙම .....

ගැඹුරු අඩියෙම ...........

වියළී සිඳුනු

අඳුරම පිරුණු

හදවත් අඩියේ
මඩවී තිබුනු
තෙත ඇති තැනක
සැඟවී තිබූ
අවසන් සිතුවිල්ලත්
අරන් ගිහින්

නුඹෙ ආදර
පනිට්ටුවෙන්

Monday, May 21, 2012

෴ ගමනක නිමාව / The Endpoint ෴

෴ ගමනක නිමාව  / The Endpoint






දිය පොඳක් නොව පිනි බිඳක්




අහස නොව තරුවක ඉඩක්




තෙත දැනෙන හදවත තැනක්




මිස පැතුවෙ නැහැ ලොකු දෙයක්


 උපත :- 2009-09-18     විපත :- 2012-05-21




෴ ආයුබෝවන් ෴


සොඳුරු සිත



------//---------

Sunday, May 20, 2012

වේලුනු මතක

මතක පිටු අතර - වේලුනු මතක




සමහර දවසට , කම්මැලි හිතුනම මම කරන්නේ මයෙ පරණ පොත් අවුස්සන එක.ඒවයෙ අතර තියෙන මතක, අමතක වෙලා ලියල දාපු කොළ කෑලි. ටොපි කොළ , වේලුනු මල්, කූඹි , ටියුෂන් කාඩ් , සීසන් ටිකට්,

හ්ම්ම්ම්..... අදටත් ඉවර කරල නැති සමහර ටියුට්ස්... බාගෙට ලියපු ලියුම් ,අතන මෙතන ඇදපු බලි, සමහර තැනක පොතක නෝට් එක අස්සෙම ලියලා “ එයා අද ඇවිත් නෑ “ හිහි........ හදිසියේම ඇති වෙන කලබලයකින් වගේ , ආපහු අපිළිවලටම ඒ පොත් ටික තිබ්බ තැනටම තල්ලු කරනවා.මම හරි බයෙන් , මතක ටික අමතක වෙයි කියල ද? නැතිනම් මතකය අලුත් වෙනවට ද?


මේ පොත් පෙට්ටි දෙක තුන ගින්නට පූජා කරන්න කී පාරක් මම උත්සාහ කරා ද? එක දවසක් , අලුත් අවුරුද්දකට ගෙවල් අස්කරද්දි.... මයෙ කාමරයෙන් මේ පොත් පෙට්ටි ටික එළියට ඇදල දමද්දි ,අම්මගෙ මවිතය පිරි ඇස් මා දිහා බලාන හිටියේ “ මේ මොන පුදුමයක් ද ? “ කියන්න වගේ.

එදා වැඩට ගියත් මයෙ හිතට කිසිම සැනසිල්ලක් තිබුනෙ නැති හැටි.භාග නිවාඩුවක් අරන් ගෙදර ඇවිත් ඒ වෙන කොටත් හරි ජයට ඇවිලෙමින් තිබ්බ ගින්න දිහා බලාන හිටිද්දි.

“ අන්න පොත් පෙට්ටිය මම කාමරයට දැම්මා “ කියල අම්ම කීවේ හරියට මගෙ හිත කියෙව්වා වගේ.

ගෙදර කවුරුවත් නැති සමහර මහ මුසල පාලු දවස් වලට , පොත් පෙට්ටි ටික අවුස්සන්න ගත්තම , තනිමං වටේ බොහොම සොඳුරු වගේම වේදනාබර මතක ඇවිත් පිරෙනවා. . . . . පොත් පිටු වලට හිනා වෙන අතරෙම , ඉදල හිටලා පොතක පිටුවක් බොද වෙලත් යනවා.

මතක තියෙන්නෙ හිතේ නෙමෙයි , සමහර ද්‍රව්‍යමය දේවල් එක්කල බැදිල කියල හිතෙන්නේ පොතක අස්සක තියෙන පුංචි ටොෆි කොලයක් දැක්කම තමයි.

ඒත් . . . . . . . මයෙ ජීවිතය අලුත් වෙන්න දැන් කාලය හරි. බොහොම ලෝබකමින් පොදි බැදගත්ත මතක වස්තු ගින්නට පුදන්න.සියල්ලෙන් මිදිලා සමාජයේ පිළිගත්ත කුටුම්භයකට කොටු වෙන්න දැනටමත් පරක්කු වැඩියි.

හදවතින්ම වෙලා ගත්ත දේ අත්හරින එක සර්පයෙක් හැව අරිනව තරම් ලේසි නම් ? හිතට මුවා වෙලා , බොරුව පිරුනු ලෝකෙක ජීවත් වෙන්න හරිම ලේසි වේවි...

පොතක පිටුවක අතර වේලුනු
මලක පෙති ලෙස පාවෙලා
සුවඳ පමණක් තබා යනු මැන
වියලි මතකය හැර පියා

කඳුළු බිද බිද එකතු වී යළි
වියළි මතකය පණ පොවා
අදක් මිස , මිය ගිය හෙටක් ගැන
නොසිත ඉන්නෙමි සිත පියා (හිත පියාගෙන )

෴ ඉරිදා පැතුම ෴

෴ ඉරිදා පැතුම ෴
මහ පොළවට ගොඩක් උඩින්
නිල් අහසට ටිකක් යටින්
මම ආසම තැනක් ඇතේ
මේ මිහිපිට ලන්තේ


හැන්දෑ වරුවට කලියෙන්
දහවල ගෙවෙනට කලියෙන්
මම එතනට එනවා
නුඹට මතක නේ දෝ

මම ආසම ඩෙනිම ඇදන්
සුදු ටී ෂර්ටය සමගින්
ගෙවුනු රබර් පයේ දාන්
මා එනකම් හිටපන්

මං දැක්කම නුඹේ හිනා
වත පුරවා දීපන්
ඒ ඇති මට මගේ දවස
සුවඳ කරන් තියපන්


වෙලාව බලන
මම
෴ සොසී෴


ප/ලි:-
වැහි කළුවර අහස දරන්
එන්නෙ නැහැ කුඩේ අරන්
වැස්සොත් වැස්සට තෙමෙන්න
බලන් එනව නේදෝ

Monday, May 14, 2012

෴ අවසන් කවිය / The Last Poem ෴



මේ නෙලන්නේ
වසන්තයේ දළු ලෑ
අවසන් ආදර කොළයයි


ලියන්නෑ කවක් ආයෙත්
නමින් නම් නුඹේ
සුවඳ සේ ඇවිදින් හදේ

යන නිසා රහසේ

ගොතන්නේ නෑ මුතු පොටක් ආයේ
බදින්නට සිතා නුඹගෙ දෑතින්
ඉහිරෙන නිසා මුතු දහසක්
නෙතු පියන් අස්සේ


කියන්නෑ ලොවට රහසේ
මධු බඳුන් පිරුන ද සවනේ
පලක් නැහැ නොව රසයේ
කණට වක්කරනා මී පැණියේ


හිමි කරන තෙක් ලියලා
මහ පොතක පිටුවක් පුරා

බැදෙන්නේ නැහැ පහසේ

හදවතක නම් ආයේ




ආදරයේ අවසන් පත් ඉරුව
විවාහයම විය යුතු බව
මට නුඹ ආයෙත් පසක් කරා...............

එන්නෙ නැහැ දුක් දෙන්න
ඔය හිතට කවදාවත්


මම
- නපුරු සොඳුරු -

Saturday, May 12, 2012

෴ ගින්න /Fire ෴අවසන් කොටස

මෙතෙක් කතාව
ලිලිනා ,මැදිවියේ සුන්දර ගැහැණියක්. ඇය පොලිසියේ පසුවන්නේ
ඇය ගේ නිවසේ දී ගිනිතබා ගෙන හෝ යමෙක් ගිනිතියා දැමූ නිසා

අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ පසුවන මැදිවයේ මිනිසකු ගැන කට උත්තරයක් දිමටයි.

ගින්න නිසා මිනිසා පිලිස්සි සිටිය ද, ලිලිනාගේ හදවතේ තුවාල දරුණු වන්නේ

අතීතය නැමැති ගින්න විසින් පුළුස්සා දමනු ලදුව අළු මතින් නැගී සිටින ගිනි පුළුඟු

ඇගේ හදවත දවන නිසයි.

පිළිස්සුනු මිනිසා සහ ලිලිනා අතර සමබධකමට නමක් නොතිබීමද ගැටළුව තව තවත්

උග්‍ර කරන අතර, කට උත්තරය දෙමින් සිටිය දී රෝහලෙන් පැමිණෙන පණිවිඩයකට ,

පොලිස් සාජන් , පොලිස් කොස්තාපල්වරයකු සමඟ ලිලිනාට ද රෝහලට යෑමට පිටත් වෙයි.
රෝහල් කොරිඩෝවකදි නෙත ගැටෙන පණසිදුන රෝගියකු දැක ඇය කම්පාවට පත්වෙයි. නමුත් ඇගේ
හිත සුවපත් කරමින් ඊළඟ මොහොතේ දී ඇය දකින්නේ රෝගි සයනයේ පණයදිමින් සිටින
එඩ්වඩ්වයි.ලිලිනා කුඩා අවදියේ සිට හදුනන එඩ්වඩ් සමග ඇය යොවුන් අවදියේ දී ඇති වූ ප්‍රේමය හිරු දුටු පිනි ලෙස වියැකි යද්දී , එඩ්වඩ් වෙනතක් බැලූ අයුරුත්, ඉන් පසු ලිලිනා ගම් දොර හැරපියා ගිය අයුරුත් නැවතත් අහඹු ලෙස ඔහු මුණ ගැසුනු අයුරුත් සිනමා පටයක සිත්තමක් මෙන් ඇගේ සිහියට නැගෙන්නනට විය.
නැවතත් අහම්ඹයෙන් මෙන් ලිලිනාට එඩීව මුණ ගැහෙන්නේ ක්ෂය රෝගියෙකු ලෙසිනි.
ලිලිනා ඔහුව තම නිවහනට කැදවා ගෙන විත් බාලගන්නට දෙවරක් නොසිතන්නීය

අද එතැන් සිට.............................



කාලය එසේ ගත වී ගියේ එඩ්වඩ්ට ලිලිනාගේ හදාගෙන යමින් තිබූ නවීන පන්නයේ නිවසේ සෙවනක් සපයමිනි. ඔහුටම වෙන් වූ කාමරයක් ලබා දිමට තරම් ලිලිනා කාරුණික වුනා.ගෙවී ගිය අතීතයේ නොපැහැදි
තැන් රැසක් එකිනෙකාට පහදා දෙන්නට හිත් බිදුනු තැන් පිළිසකර කර ගන්නට මේ කාලය හොඳටම ප්‍රමාණවත් වුනා.


නමුත් .......................

මිනිසා යනු කුතුහලයෙන් පිරි සත්ත්ව ප්‍රාණියන් රැසකට, විශේෂයනේ තම සැමියා විදේශගතව සිටිද්දී වෙනත් නාඳුනන්නෙකු , ඥාතියෙකු නොවන්නෙකු තම වහලය යට නතර කර ගැනීම සෑහෙන ප්‍රශ්ණයක් වුනු අය ලිලිනාගේ ගේ අවටත් වාසය කළා.

තමන්ගේ වියදමින් මුද්දර ගසා පිටු ගනන් විස්තර සපයමින් විදේශයේ සිටින තම අසල්වාසී මිතුරාට ලිපියවන්නට තරම් ඒ මිනිසුන් කාරුණික වුනා.

පිට මිනිහෙකු ගෙයි දාගෙන තම මව කිසිම අවැඩක් සිදු නොකර බැව් දැන සිටි දරුවන්ට ද එය කිසිම ලෙසකින් ප්‍රශ්ණයක් නොවූවත් , අසල්වැසියන් නම් මේ පවුල ගැන බැලූවේම ජඩ කැත අවිනීත කණ්නාඩියකින්.

විදේශගතව සිටිනා තම සැමියා එවන ලිපි එන්න එන්නම නරක් වෙද්දි ලිලිනාටත් කරන්න කියල කිසිම දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නැහැ.

ඒ වෙන කොට එඩී මාමා දියණියගේ විතරක් නෙමෙයි ලිලිනාගේ මුරණ්ඩු පුතාගේ ලෝකෙටත් ගොඩක් ළං වෙලා හිටියා. ඇත්තම කියනව නම් ලිලිනා ත් හිටියේ බොහොම සතුටින්.ඒ සතුට ඇගේ හිතට විතර ද ? රෑට රෑට ලිලිනා එඩීගේ කාමරයට ත් රිංගුව ද කියල නම් මයෙන් අහන්නෙපා. ඒ දේවල් තම තමන්ගේ හිත් වල තියෙන පාට පාට කණ්ණාඩි වලින් බලාගන්න.මොකද මං කොච්චර නැහැ කීවත් ඇතැමෙක් ලිලිනා ගැන මම පවසන සත්‍ය පිළිගන්න කැමැති නැහැ කියල මම දන්නවා.

විදේශගත සැමියා එවන ලිපි වලට අමතරව දවසක් හදිසියේම වාගේ දුරකතන ඇමැතුමකුත් ආවා. මේ ඇමතුම ලිලිනාගේ හිත සසල කරා කියලයි මට හිතෙන්නේ.

“ ආහ් ගෑනියේ , උමට පිස්සු ද එක එකාව ගෙයි දාගෙන මඟුල් නටන්නේ. තමුසෙට උස්මහත් වුනු ළමයි ඉන්න බව අමතක වුනා ද , තෝ හිතන්නෙපා මං මුදු හතකින් දුර හිටියට මැරිල ගිහින් කියලා. තෝයි තොගෙ හොර මිනිහගෙයි කෙරුවාව මං දන්නවා.එක පාරක් වැරදුනාට ආයෙත් වරදියි කියල හිතන්නෙපා ගෑනියේ. එක පාරක් වෙඩිල්ල වැරදිලා කාලකන්නි දොස්තර නෝනට වැදුනට , මේ සැරේ මම කොන්ත්‍රාක් එක බාර දුන්නේ තෝයි තොගෙ හොර මිනිහයි දෙන්නම කපෝති වෙන්න. උඹ ඔය මිනිහත් එක්ක ගමේ නටපු නාඩගම් ඔක්කමෙ අමතක කරල දාලා උඹව බාර ගත්තේ මගේම තියෙන මෝඩකමට තමයි ගෑනියේ. ඒත් මේ සැරේ වරදින්නෑ “

බ්ලොගයේ ලිවිය නොහැකි තරම් අසභ්‍ය වදන් ද, යොදා ගනිමින් සිදු වූ කතාවටත් වඩා ලිලිනාගේ හිත සසල වුනේ //එක පාරක් වැරදුනාට ආයෙත් වරදියි කියල හිතන්නෙපා ගෑනියේ. එක පාරක් වෙඩිල්ල වැරදිලා කාලකන්නි දොස්තර නෝනට වැදුනට , මේ සැරේ මම කොන්ත්‍රාක් එක බාර දුන්නේ තෝයි තොගෙ හොර මිනිහයි දෙන්නම කපෝති වෙන්න “ // යන වදන් සමූහයයි.

ඇය රෑ නින්දෙන් බිය වී ඇහැරෙන්නටත් රෑට රෑට එඩීගේ කාමරයට යන්නත් පටන් ගත්තේ ඉන් පසුවයි.

“ එඩී . . . . . . ඔයා ව බදින්න හිටපු දොස්තර නෝනට මොකද වුනේ ? “ දවසක් ලිලිනා එඩීගෙන් ඇහුවේ ලිලිනාගේ පුලුල් උකුලේ තිබ්බ එඩීගේ හිස පිරිමදින ගමන්.

“ ඒ කාලේ මට යහමින් සල්ලි තිබ්බ ලිලී.මම උඹවත් එපා කියල ඒ ගෑණිමත්තෙම හැපෙන්න වුනත් , මගේ තිබ්බ සෙල්ලකාරකමටයි.උඹට කරපු ද්‍රොහි කමටයි හරියන්න . . . .මගේ සේසතම බලා ඉද්දි නැති වෙලා ගියා “

“ ඉතින් “

“ ඒ ගෑණි මට නෙමෙයි මයෙ සල්ලි වලට ආදරය කරපු බව ඒ ගෑණිගෙ කටින්ම කීවා ලිලී “

“ ඉතින් , ඔයා ද එයාව මැරුවේ ? “

“ නැහැ.... ඒකිව මරන්න තරම් කේන්තියක් ඇති වෙච්චි බව හැබෑව.ඒත් මම ඒකිව මැරුවෙ නැහැ ලිලිනෝ “

“ මං දන්නවා . . . .“ මද සුසුමක් හෙලු ලිලිනා ......  ඒ වන විට හිස ඔසවා තමා ලගින්ම සයනයේ වාඩි වී සිටි එඩීගේ උරහිසට වාරු වුයේ . තම විදේශ ගත ස්වාමියාගේ දුරකතන ඇමතුමේ වචනයක් ගානේ සිහිකරමිනි.

එහෙත් විසබීජය නොසිතූ ලෙසින් තම අණසක හැකි සෑම දෙසම පතුරමින් තිබුනි.

දිනක් පාසල් ඇරී ලිලිනාගේ පුතු ගෙදර ආවේ දැඩි ආවේගයකිනි.

“ අම්මේ . . . . අර මිනිහට මේ ගෙදරින් යන්න කියන්න. ඔන්න මං නොකීවයි කියන්නෙපා.නැතිනම් මම මේ ගෙදරින් යනව යන්න හිස හැරුනු තැනක “

“ පුතා කෑ ගහන්නෙපා.“

“ ඇහුනාවේ. ඇහෙන්න තමා මම මේ කාටත් කියන්නේ . . . . එක එකා කියන අවලං කතා අහන්න වෙන්නෙ මට නේ “

ඉන්පසු එළඹියේ අතිශය නිහඩ කාලපරිච්ජේදයකි. නිවැසියන් එකිනෙකා එකිනෙකාගේ මුහුණු නොබලන්නට වූ අතර. කෑම මේසය මතම සීතල වී කුණු ගොඩට යන්නට විය.

“ එඩී...... අපි තීරණයක් ගන්නෝනි. එඩී....මට සමාවෙන්න. කරුණාකරල මේ ගෙදරින් යන්න “

හදවතේ කොහේ දෝ සිට නැගෙන ඉකිය පිටනොකරම ලිලිනා තම හදවත පුපුරන්නට හැරියාය.

“ ලිලී....ඔහොම කතා කරන්නෙපා ලිලි. මම කොහෙ කියල යන්න ද? අනික දැන් මට ඔයාව දාලා යන්න ...“

“ නවත්ත ගන්නව ද ඔය කතාව. තමුන්ට ගෑනියෙක් ළමා ළපටි ඉන්නව නේද.ඇයි උන් ගාවට යන්න බැරි.ඇයි දෙයියනේ මටම වද දෙන්න ඉන්නේ.මම දන්න කාලේ ඉදල මගෙ ජීවිතේ කාල කන්නි කරන්න හදන්නෙ ඇයි එඩී.... දෙයියනේ මං වගේ කාලකන්නි ගෑනියෙක්. ................. එඩී මම අද හවස එනකොට මේ ගෙදරින් ගිහින් තිබ්බෙ නැතිනම්. අම්මප මං යනව මගෙ දරුවො දෙන්නත් අරන් කොහෙ හරි යන්න ‘

ඉන්පසු සිදු වූ දේ දන්නේ දොලොවක් අතර නින්දත් නොනිද්දත් අතර සිටිමින් රෝහලේ සයනයේ මුනින්තලාව සිටිනා එඩීම පමණි.

-----------------------------------------
රූප රාමුව යළිත් වර්තමානයේ රෝහල් වාට්ටුව වෙතට ක්ෂණිකව ඇදේ.

ඔබට මතක ඇති විදිහටම , එඩීගේ සයනය වටා සිටින්නේ , සාජන්,රාලහාමි ,ලිලිනා සහ වෛද්‍යවරයා පමණි.

“ ලෙඩාගෙන් කට උත්තරයක් ගන්න සාජන් “ වෛද්‍යවරයාගේ මුහුණේ වූයේ හැගීම්වරහිත වියළිබවකි.

“ තව වැඩි වෙලාවක් නැහැ .....“ වෛද්‍යවරයා නැවතත් පැවසූවේ අමතක වූ යමක් සිහිවූවෙකු මෙනි.

“ එඩී . . . .  මොකක් ද වුනේ එඩී මට කියන්න “

ලිලිනා දෙසම බලා සිටිනා එඩීගේ සිත කියවූ ලිලිනා එඩීගේ පිළිස්සී විකෘති වී ගිය මුහුණ අද්දරටම තම සුන්දර වත පහත් කරමින් දිරි ගෙන අසන්නට වූවාය.

දැඩි අපහසුවකින් මෙන්ම....දැඩි ආසාවකින් ද දැවෙන්නට වූ එඩී........ ගේ මුවින් පිටවූ අවසන් වචන ලිලී කෙදිනකවත් බලාපොරොත්තු නොවී යයි ...............කීමට මම නොකැමැති වෙමි.

“ ලිලී....ලී.... ඒ ........ මයෙ ............. පුතා ද ලිලි.............සමා.....වෙ.......වෙයන්...........ලි ....ලී“








ගින්න නිමි.



පලි:-  ආසාවෙන් ද , ආදරයෙන් සහ රාගයෙන් ද , මේ සෑම දේ මිශ්‍රිත නොසන්සිදෙන හිස් තැනක් තබා ගනිමින් ද දිවි ගෙවන මිනිසා , එකිනෙකා හා බැදී පවතින්නේ ඉතාම සිහින් රැහැනකින් වුව ද, එක් කොනක් ගිනිගත් පසු රැහැන ඇවිලී ගින්න පැතිරෙන්නේ , තමා හා ඒ අවට සිටි සියල්ලන් එයට හසුකරමිනි. මේ සියල්ලෙන් මිදීම වෙනුවට...අපි තව තවත් රැහැනෙහිම පැටලී වෙලී දැවෙමින් සිටන්නන් නොවේ ද ?

Related Posts Plugin for WordPress, Blogger...